عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The congregation, Friday [Al-Jumua] - Sinhalese translation - Rowwad Translation Center

Surah The congregation, Friday [Al-Jumua] Ayah 11 Location Madanah Number 62

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. (ඔහු) රජු ය. පාරිශුද්ධ ය. සර්ව බලධාරී ය. මහා ප්‍රඥාවන්ත ය.

ඔහු වනාහි ලිවීමට හෝ කියවීමට නොහැකි අය අතරට ඔහුගේ වදන් ඔවුනට පාරායනය කර පෙන්වන, තවද ඔවුන් පිවිතුරු කරන, එමෙන් ම ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන ධර්ම දූතයකු එවීය. මීට පෙර ඔවුහු පැහැදිලි මුළාවක සිටියෝ ය.

තවද ඔවුන් සමඟ මෙතෙක් එකතු නො වූ, ඔවුන් අතර වන පසුගාමීන් අතරට ද (එවීය.) තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

එය අල්ලාහ්ගේ භාග්‍යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්‍යය සම්පන්න ය.

තව්රාතය උසුලන්නට සලස්වනු ලැබ, පසුව එය නො ඉසිලූ අයට උපමාව පොත් පොදියක් උසුලන බූරුවාගේ උපමාව වැනි ය. අල්ලාහ්ගේ වදන් බොරු කළ ජනයාගේ උපමාව නපුරු විය. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.

“අහෝ යුදෙව් වූවනි! සෙසු ජනයාට වඩා නියත වශයෙන් ම නුඹලා අල්ලාහ්ගේ සුමිතුරන් යැයි තරයේ විශ්වාස කළෙහු නම් එසේ ම නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා මරණයට ආශා කරනු” යැයි (නබිවරය!) නුඹ පවසනු.

ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුහු එය (මරණය) කිසිවිටෙක ආශා නො කරති. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳව සර්ව ඥානී ය.

“නියත වශයෙන් ම නුඹලා එයින් පලා යන මරණය වනාහි සැබැවින් ම එය නුඹලාව හමුවනු ඇත. පසුව අදෘශ්‍ය දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥයාණන් වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහු ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වනු ඇත.

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ජුමුආ (සිකුරාදා) දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලුව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත් ය.

සලාතය ඉටු කිරීම අවසන් කරනු ලැබූ විට නුඹලා මහපොළොවේ විසිර ගොස් අල්ලාහ්ගේ භාග්‍යය සොයනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරනු.

එහෙත්, ඔවුහු යම් වෙළඳාමක් හෝ යම් විනෝදයක් දුටු විට, නුඹව සිටගත් තත්ත්වයේම අත හැර දමා ඒ වෙත ඔවුහු යති. අල්ලාහ් අබියස ඇති දෑ විනෝදයට හා වෙළඳාමට වඩා ශ්‍රේෂ්ඨ ය. තවද අල්ලාහ් පෝෂකයින්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ ය.