The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Hypocrites [Al-Munafiqoon] - Sinhalese translation - Rowwad Translation Center
Surah The Hypocrites [Al-Munafiqoon] Ayah 11 Location Madanah Number 63
කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන් ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන් ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. තවද නියත වශයෙන් ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
ඔවුන්ගේ දිවුරීම් ඔවුන් පලිහක් ලෙස ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
එය නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ලැබී ය. එහෙයින් ඔවුහු වටහා නො ගනු ඇත.
තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹව විශ්මයට පත් කරනු ඇත. තවද ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන් ම ඔවුන් හේත්තු කර තැබු ලී කොටයක් මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහු මය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
තවද “නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිටිමින් (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් අවහිර කිරීම නුඹ දකිනු ඇත.
නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නො ඇයද සිටිය ද ඔවුන් වෙත එක සමාන ය. අල්ලාහ් ඔවුනට සමාව නො දෙන්නේ ම ය. නියත වශයෙන් ම අල්ලාහ් පාපතර ජනයාට මග නො පෙන්වයි.
ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන්ව යන තුරු නුඹලා වියදම් නො කරනු’ යැයි (අන් අයට) පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතු ය. එනමුත් කුහකයින් වටහා නො ගනිති.
“අප මදීනාව වෙත හැරී ආවේ නම් උසස් අය පහත් අයව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය. තවද ඔහුගේ දූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් සතු ය. එහෙත් කුහකයින් අවබෝධ කර නො ගනිති.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නො කරත්වා! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහු මය අලාභවන්තයෝ.
තවද නුඹලා අතරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නො වේ ද? එවිට මම පරිත්‍යාග කරමි. තවද දැහැමියන් අතරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි.
තවද අවසන් කාලය පැමිණි විට කිසිදු ආත්මයක් අල්ලාහ් ප්‍රමාද නො කරන්නේ ම ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.