عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The emissaries [Al-Mursalat] - Sinhalese translation - Rowwad Translation Center

Surah The emissaries [Al-Mursalat] Ayah 50 Location Maccah Number 77

අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්,

දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,

(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්

වෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්,

මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,

(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි.

තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,

තවද අහස පුපුරා හරිනු ලබන විට,

කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,

තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,

කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?

(එය) විනිශ්චය දිනය සඳහා ය.

විනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

බොරු කළවුනට එදින විනාශයයි.

මුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද?

පසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.

අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය.

බොරු කළවුනට එදින විනාශයයි.

ඉතා පහත් වූ ද්රාවණයකින් අප නුඹලා නො මැව්වෙමු ද?

එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.

එසේ ම අපි ම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

බොරු කළවුනට එදින විනාශයයි.

මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නො කළෙමු ද?

ජීවත් වන්නන් හා මළවුන්.

තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු

බොරු කළවුනට එදින විනාශයයි.

නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.

ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.

එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන් ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නො කරයි.

නියත වශයෙන් ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.

එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.

බොරු කළවුනට එදින විනාශයයි.

එය ඔවුන් කතා නො කරන දිනයකි.

තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නො ලැබේ.

බොරු කළවුනට එදින විනාශයයි.

මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.

එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.

බොරු කළවුනට එදින විනාශයයි.

නියත වශයෙන් ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.

තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).

නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

නියත වශයෙන් ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

බොරු කළවුනට එදින විනාශයයි.

නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන් ම නුඹලා අපරාධකරුවන් ය.

බොරු කළවුනට එදින විනාශයයි.

(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නො කරති.

බොරු කළවුනට එදින විනාශයයි.

එහෙයින් මින් පසුව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?